ඔබේ අයිතිය ඔබට අයිතිද ?

අයිතිවාසිකම් යනු පිරිපුන් සමාජ ජිවිතයක් ගත කිරීමේදී මිනිස්සුන්ට අත්‍යාවශයෙන්ම තිබිය යුතු යැයි පිළිගන්නා සමාජ හිමිකම් වන අතර මේවා නොමැති වුවහොත් මිනිසා වහලකු හෝ සිරකරුවෙකු බවට පත්වේ. එම නිසා විශ්ව අයිතිවාසිකම් ප්‍රකාශය පෙන්වා දෙන්නේ සියලූම මිනිසුන් නිදහස්ව උපත ලබා ඇත. ඔවුන් ගරුත්වයෙක හා අයිතිවාසිකම් අතින් එක සමාන වන්නේය ලෙසයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අයිතිවාසිකම්වල දක්නට ලැබෙන ලක්ෂණ කිහිපයකි. 


  • අයිතිවාසිකම් අසීමිත නොවීම. 
  • අයිතිවාසිකම් සමාජය තුළ ජිවත් වීමෙන් පමණක් භුක්ති විදිය හැකි වීම. 
  • සෑම අයිතිවාසිකමක්ම කුමන හෝ යුතුකමක් සමග සම්බන්ධ වීම.
  • සමාජ අවශ්‍යතාවයන්ගේ වර්ධනයත් සමඟ අයිතිවාසිකම් වෙනස් වීම. 
  • පුද්ගල මමත්වය වර්ධනය කරගැනීම සඳහා පමණක් පවතින දෙයක් නොවීම. 


අයිතිවාසිකම් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් පවතී. එනම්,

  • සිවිල් අයිතිවාසිකම්
  • දේශපාලන අයිතිවාසිකම්


තම රාජ්‍යයේ පාලන ක්‍රියාදාමයට සම්බන්ධ වීම හා ආදාලවන අයීතින දේශපාලන අයිතිවාසිකම් නම් වේ. එම අයිතිවාසිකම් වන්නේ,


  • ඡන්දය දීමේ අයිතිය
  • තමා කැමති දේශපාලන පක්ෂයට සම්බන්ධ වීමේ අයිතිය
  • මැතිවරණයට ඉදිරිපත් වීමේ අයිතිය 
  • රජයේ තනතුරු දැරීමේ අයිතිය.
  • දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමේ අයිතිය.
  • ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය , යනාදියයි.


සිවිල් අයිතිවාසිකම් යනු තම පෞද්ගලික ක්‍රියාකාරකම් වර්ධනය කර ගනිමින් යහපත් සමාජ ජිවිතයක් ගත කිරීමට අත්‍යාවශයෙන්ම හිමිවිය යුතු හිමිකම් වේ. එවා පහත පරිදි හදුනාගත හැකිය.


  • ජිවත් වීමට ඇති අයිතිය 
  • පෞද්ගලික නිදහස පිළිබඳව අයිතිය
  • නිදහසේ සිතිමට හා අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය 
  • දේපළ අයත් කර ගැනීමට ඇති අයිතිය 
  • කැමති ආගමක් ඇදහීමේ අයිතිය 
  • සංවිධානය වීමේ අයිතිය 
  • පවුල් ජිවිතයක් ගත කිරීමේඅයිතිය.
  • අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය.
  • හිතුවක්කාර ලෙස අත්අඩංගුවට ගැනීමෙන් වැළකීමේ අයිතිය.
  • නිදහසේ සැරිසැරීමේ අයිතිය.


අයිතිවාසිකම් සංවර්ධනය මැනීමේ දර්ශකයක් ලෙසද සලකයි. මේ නිසාම මානව අයිතීන් උල්ලංඝනය කරමින් කටයුතු කරන රටවල් අන්තර්ජාතික ප්‍රජාව විසින් කොන් කර දමයි. මෙයට කදිම නිදසුනක් ලෙස දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වු ඇපාතයිඩ් ප්‍රතිපත්තියට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැනවු සම්බාධක පෙන්වා දිය හැකිය. වර්තමානයේ විදේශාධාර ලබා ගැනීමේදී මානව අයිතිවාසිකම් වැදගත් සාධකයක් බවට පත්ව තිබේ. කෙසේ වෙතත් මිනිසාට හිමිව පවතින අයිතිවාසිකම් සුරක්ෂිත කර ගත හැක්කේ පුද්ගලයා ඒ පිළිබඳව හොදින් දැන සිටින්නේ නම් පමණි. 


No comments

Powered by Blogger.