සංසර්ගික ප්‍රේමයක් ඔක්කාරය

ප්‍රේමයේ නාමයෙන් 
එක් නොවුවද 
ගතින් ගත 
ඔහුත් සමඟින් 
රහසකින්වත් 

365 ක් දින 
පැය 24  ම 
සිතින් සිදුකළ 
සංසර්ගයෙන් 
ගැබ්ගෙන අද ඇත 
කුස නොව හදවත 
ගන්ධබ්භ වු 
වෛරයෙන් 

කළලයේ පෙර 
නිමිත්තෙන් 
ඔක්කාරයට එයි 
වංක රෝමියෝගේ 
රැවටිලි පෙම්බස් 

කෙසේ දරන්නද 
දසමසක් 
අන්සතු ඔහුහට 
දාව වු කළලයක් 

උපත නොදෙමි 
කෙළසකින්වත් 
ගබ්සා ද නොකරමි 
කිසිවිටත් 
රැක ගනිමි මා 
සිත් දරා ඇති 
වෛරි බිළිඳුන් 
සිත් පතුලේ තබා ගනිමින් 

වංක ඔහුගෙන් මා ලැබු 
කුළුදුල් පෙම් 
සැමරුමක් මෙන් 

රෝමියෝ මෙන් පෙම් බස් දෙඩු නමුත් වංක ප්‍රේමවන්තයෙකුට රැවටී තම කුළුදුල් පෙම විරහා කදුළින් පුරවා ගත් තරුණියක් වස්තූ බීජ කරගෙන රචනා වී ඇත. රාගයෙන් වල්මත් වී කායික සංසර්ගයක් බවට ප්‍රේමය පත් නොකරගත් මෙම තරුණිය ඇගේ පෙම්වතා සමඟ හදවතින් බැඳි සිටියහ. එම හදවත් අතර ඇති වු සංසර්ගයේ ප්‍රථිඵලයක් ලෙසින් පෙම්වතාගේ හැරයාමත් සමඟින් ඇගේ කුස තුළ නොව හදවත තුළ ඇගේ පෙම්වතා නිසා ඇති වු වෛරය නැමති කළලය හටගෙන තිබේ. නමුත් එකී වෛරයත් සමඟ ඇති වු වේදනාව  මෙම තරුණිය  තම පළමු ප්‍රේමයේ සිහිවටනයක් ලෙසින් කිසි දා අමතක නොකර හිත් පතුලේ තබා ගැනීමට සිතයි.

මෙහි දී මෙම තරුණියට පෙම්වතාගේ රැවටීමත් සමඟ හිත තුළ ඇති වු වෛරී සිතුවිල්ල කාන්තාවකගේ කුස තුළ හට ගන්නා බිළිදු කළලයකට උපමා කර ඇත. එබැවින් කාන්තාවක් කළලයකට උපත ලබා දුන්නොහොත් නව බිළිදෙකු ලොවට ජනිත වනවා සේ මෙම තරුණිය ඇගේ වෛරී සිතුවිල්ලට උපත ලබා නොදෙන බව කියයි. මන්ද තම ප්‍රේමයෙන් පළි ගැනීමට ඇයට සිත් නොදෙන බැවිනි.  නමුත් ඇගේ වෛරී සිතුවිල්ලේ වේදනාවන් ගබ්සා කර නැති කර දැමීමටත් ඇය අකමැති වේ. මන්ද ඇයට විරහා වේදනාවත් ඇගේ අවංක ප්‍රේමයේ සොදුරුතම මෙන්ම වේදනාබර  මතකයන් මතක් කර දෙන සැමරුමක් වන නිසාමයි.




No comments

Powered by Blogger.