වර්ණ ඒකාධිපතිත්වය


                         වර්ණ ඒ කියන්නේ හැමෝම දන්න විදියට පාට. පාට කියන්නේ අපේ ජීවිතයට නැතුවම බැරි දෙයක්. හුස්ම ගන්න වාතය,කුස පුරවාගන්න ආහාර, ආරක්ෂාවට වාසස්ථාන වගේම වර්ණ අපේ ජිවිතයට හුඟක් සමීපයි. පාට හා මිනිසා අතර සම්බන්ධය ඇති වෙන්නේ මව් කුස තුළදීමයි.මෙලොව එළිය දකින්නට ඉන්න පුංචි පුතා වෙනුවෙන් නිල් පැහැයත් පුංචි දූ සිඟිත්ත වෙනුවෙන් රෝස පැහැයත්  වෙන් වෙනවා. මෙසේ තමන්ටම වර්ණයක් උරුම කරගෙන උපත ලබන මිනිසා තම ජීවිතය නොයෙකුත් වර්ණයන්ගෙන් ලස්සන කරගන්නවා. ඇදුම් පැළදුම්ගෙවල් දොරවල් යාන වාහන ජංගම දුරකථන  සියල්ලම තම රුචි වර්ණයන්ගෙන් තෝරා ගන්නවා.





                           මෙවැනි භෞතික දේවල් හැරුණු විට තමන්ගේ පෙම්වතා පෙම්වතියව තෝරා ගැනීම සිදු වන්නේ ද වර්ණ අනුවය. කළු කෙල්ලෙක් වෙනුවට සුදු කෙල්ලෙක් කළු කොල්ලෙක් වෙනුවට සුදු කොල්ලෙක් යනුවෙන් ප්‍රේමයත්  වර්ණය මත තීරණය වන සාධකයක් බවට පත් ව තිබේ.ප්‍රේමය විවාහයක් බවට පත් වන අවස්ථාවේදීත් වර්ණ සඳහා සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. සෑම විවාහ මංගල්‍යක්ම අදවන විට පවත්වන්නේ එක් වර්ණයක් theam colour ලෙස තෝරා ගනිමිනි. එමෙන්ම පළමු දිනයේ මනාලිය සුදු වර්ණයත් දෙවැනි දිනයේ රතු වර්ණයෙනුත් සැරසිය යුතු බවට නියමක් පවති.




                                     දේශපාලනයටද වර්ණ ඇත. නිල් පාට, කොළ පාට, රතු පාට වශයෙන් විවිධ පාටවලට බේදී තරඟ කරන්නන් ඕනෑ තරම් දක්කනට ලැබෙන අතරම පාට මාරු කරන කටුස්සන් ද ඕනෑ තරම් සිටි.  කෙසේ වෙතත් දේශපාලනයට පාට අත්‍යාවශ්‍ය වේ.




                             ජොතිෂ්‍යට අනුවද එක් එක් පුද්ගලයාට සුබ ඵල දෙන වර්ණයන් තිබේ.  ඒ නිසාම විවිධ චාරිත්‍ර සිදු කිරීමේදී වර්ණයන්ට මුලිකත්වය  හිමි වනු දක්නට හැකිය. නව වසරක් උදා වන විට ඒ හා සම්බන්ධ නැකත් සිදු කිරීමට සුභ වර්ණයන් ඇත. එම වර්ණය නො ඇන්දොත් තමාට මුළු වර්ෂයම අසුභ වේ යැයි සිතා රටම එම වර්ණයෙන් සැරසි අවුරුදු චාරිත්‍ර ඉටු කරනු ලබයි.


                                   ආගමික විශ්වාසයන් තුළද වර්ණයන් මුල් තැනට පත් වී තිබෙනු දක්නට පුළුවන. නිල් වර්ණය  විෂ්ණු දෙවියන්ට කහ වර්ණය පත්තිනි මෑණියන්ට රතු වර්ණය කාලි මෑණියෝ ආදී වශයෙන් දෙවියන්ට ද වර්ණ තිබේ.




                                    වර්ණ ලස්සනට අමතරව විවිධ අර්ථ ජනනය සඳහා ද භාවිතයට  ගැනීමට සිදු වේ. ප්‍රේමයට රතු පැහැයත්, විරෝධයට කළු පැහැයත් සාමකාමීත්වය හැඟවීමට සුදු පැහැයත් ලැබී තිබේ.  පාලකයින් බොහෝ විට සුදු පිරුවට පොරවා ගන්නේ ඔවුන්ගේ දුෂ්චරිතවත් ජිවිතයේ කළු පැල්ලම් මකා ගැනීමටය.එමෙන්ම කළු කෙස් වැටිය තුළ එකදු සුදු කෙස් ගසකට හෝ ඉඩක් නොලැබෙන්නේ එයින් වියත්බව හඟවන නිසාමය.




                         මෙසේ  වර්ණ සමඟම උපත ලබා වර්ණ සමඟ ජිවත්වන මිනිසාට අවසාන වශයෙන් මරණයේදී හිමිවන වර්ණයක් ද ඇත. එනම් සුදු හෝ කළු වේ. මෙම වර්ණ දෙකෙන් එකක් සමඟ අවසන් ගමන් යෑමට සෑම අයෙකුටම සිදු වේ.  මෙලෙස පුද්ගලයෙක් තම ජිවිතය තුළ සිදු කරන සෑම ක්‍රියාවක් පිටුපසම වර්ණයක් ඇත. පුද්ගලයාගේ සෑම තෝරා ගැනීමක්ම මෙහෙයවනු ලබන්නේ වර්ණයි. එය පුද්ගලයා දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු වන්නකි. එබැවින් පුද්ගලයාගේ අශාවන් හා තෝරාගැනීම් සෑමවිටම වර්ණයන්ට අවනත වේ. වර්ණ ඒකාධිපතිත්වයක් සෑම පුද්ගල ජිවිතයක් තුළම පවතින බව මේ අනුව පැහැදිලි වේ







No comments

Powered by Blogger.